Sunday, April 1, 2012

බෝඩිමට ආපු අලුත (2010/07/10)




කැම්පස් එකට ඇවිල්ල සති 3ක් ඉවර උනා විතරයි.ආපු මුල් කාලේ නිසා සිකුරාදා හවස වෙනකොට ඔක්කොම වගේ ගෙවල් වලට යනවා.කැලා නම් බදාදා හවස වෙනකොටම ගෙදර.අපි ඉතින් බොරුවට බය වෙලා කැම්පස් එකේ පුටු රත් කරනවා.එදා බෝඩිමේ පලවෙනි පාරට තමයි සෙනසුරාදා ඉරිදා ගෙදර යන්නේ නැතුව සෙට් එකක් බෝඩිමේ නැවතුනේ.සෙට් එකක් කිව්වට මමයි,අජියයි,පුෂ්පෙයයි විතරයි.ඇවිල්ල කොහෙවත් ඇවිද්දේ නැති නිසා සත්තු වත්ත පැත්තේවත් යමු කියල පුෂ්පේ තමා කිව්වේ.ඉතින් හවස පුෂ්පේ කොට්ටාවේ නන්දලයි ගෙදර ගියා .මමයි අජියයි බෝඩිමේ හිටියා.



උදේම නැගිටලා යන පාරවලුත් හොයාගෙන අජියයි, මමයි පාරට බැස්සා.පුෂ්පෙත් අපිට මගදී සෙට් උනා.ඉතින් උදේ 10.00ට විතර සත්තු වත්තට ගියා.ඒ දවස වල අද ඉන්නවට වඩා සත්තුත් හිටියා.කකුල් රිදෙනකන්ම ඇවිදලා එලියට එනකොට හවස 2.00විතර ඇති.තාම කරුවල වැටිලත් නැති නිසා බෝඩිමට යන්නේ නැතුව ගල්කිස්සේ යමු කියල නම් කිව්වෙ අජිත්.ඔන්න ගල්කිස්ස හන්දියෙන් අපි බැස්සා මූදට යන්න හිතාගෙන.එතන බැස්සට මොකද එතන ඉදන් බීච් එකට යන හැටි කවරුවත්ම දන්නේ නෑ.අපි ඉතින් හැමදාම මූදු හුළඟ වැදිච්ච මිනිස්සු නිසා මූදු තියෙන පැත්ත නහයෙන් පෙන්නන්න පුළුවන්.ඔන්න ඉතින් ගල්කිස්ස හන්දියෙන් හැරිලා අපි මුහුද හොයාගෙන යනවා.ඉස්සරහට හම්බුනේ නැතයි තුන් මං හන්දියක්.පුෂ්පේ කියනවා දකුණට යමු කියල.අජිය කියනවා වමට හැරිලා යමු කියලා.කොහොම හරි අන්තිමේදී අජිත් කියපු විදියට වමට හැරිලා ගියේ.යනවා යනවා ඉවරයක්‌ නෑ.අපිට තේරුනා වටයක් ගහනවා කියලා.(අනිත් පාරෙන් ගියානම් විනාඩි 2යි කියල පස්සේ දැන ගත්තා).මේ පාර වරද්දන පුරුද්ද අජියට උපතින්ම එන හැකියාවක් කියල අපිට තේරුනේ ටික කාලයක් ගියාට පස්සේ.වැරදිලාවත් අජියගෙන් පාරක් ඇහුවොත් ඉතින් දුරම පාර තමයි කියන්නේ.



කොහොමින් කොහොම හරි ගල්කිස්ස මහ හෝටලය ලගින් මුහුදට ආවා.ගෙනාපු බීම කෑන් වගයක් එතනම ඉදන් බිව්වා.හුළඟ සැර වැඩි කමටද මන්දා අජිය බිව්ව වර්ගේ ඌට ඇලජික් උනානෙ.හිටපු ගමන් ,මෙන්න අජියා මුහුදේ ලයිට් දාල තියෙන නැවකට බනිනවා.ලයිට් ඕෆ් කරන්න කියල ගලකුත් ගහන්න හැදුවා.ඒ වෙලාවේ අපි ලගින් පියාඹපු කාක්කෙක්ටත් හොදවයින් ලුණු මිරිස් ඇතුව අහගන්න හම්බුනා.ඌට කියපු කතාවල හැටියට ඌ කෙලින්ම ගිහින් පොල් ගහක අත්තකට මුවා උනා.තව බල්ලොත් නොකන සල්ලි කියල පර්ස් එකත් මුහුදට විසි කරන්න හදල පුෂ්පේ තමයි නවත්ත ගත්තේ.



කරුවලත් වැටිලා නිසා යන්න ලැස්ති උනා.පාරේ යනකොට ගෙදරක ඇති කරන බල්ලෙක් අපිට බිරුවනේ.උගේ වැරදි වෙලාව.අජිත් ෆෝම් වෙලා කියලා ඌ දැනගෙන හිටියේ නෑ.මුලින්ම උගෙ ලගට ගිහින් හොදින් කිව්වා.බල්ලත් කන් දෙක පල්ලෙහාට දාගෙන අහගෙන හිටියා.අයිත් යන්න හැදුව විතරයි මූ බුරන්න ගත්තනේ,දැන් නම් අජිත්ට මල පැනල."බලපන් පුෂ්පේ ඌ අපිට ලොකු ලයින් එකක් නෙ දුන්නේ "කියල අජිය බල්ලට ගහන්නත් ගියා. බොහොම අමාරුවෙන් තමා වලිය බේරුවේ.අජිත්ල කැම්පස් එකේ "බල්ලොත් එක්ක බෑ"නාට්‍යය සංවිධානය කරන්න හේතු උනේ ඔය සිද්දිය කියල තමයි මට හිතෙන්නේ.



බෝඩිමට එනකොට 7.00 විතර ඇති.ආහ්... කියන්න අමතක උනානේ,මම අජියගේ ඔක්කොම කතා රෙකොර්ඩ් කළා.එත් බෝඩිමේ අපි ඒක අහගෙන ඉන්න කොට අජිත් ඇවිල්ල ඔක්කොම ඩිලීට් කළා.දුක තමා.ඒ ටික බෝඩිමේ අනිත් උන් වත් ඇහුවේ නෑ.ඇහුවනම් අව්රුද්දක් හිනා වෙන්න තිබ්බා.