Sunday, March 31, 2013

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනින් දෙමෝදර ආරුක්කු පාලමට...


චායාරූ සටහන්...Click Here


නිවාඩු කියන්නේ අපේ කැම්පස් 1 ට අලුත් දෙයක් නෙවෙයි.ඒ ලැබෙන නිවාඩු වලදී ලංකාවේ කොහේ හරි රවුමක් දාන 1ත් අපේ සෙට්1ට අලුත් දෙයකුත් නෙවෙයි.මාර්තු 28 නිවාඩු ලැබෙනවා කියල දැනගත්තු දවසේ ඉදලම තමා අපි ට්‍රිප් 1ක් යන්න ප්ලෑන් කලේ.දවස් 3,4 ක් කොහේ හරි යන්න කියල කලින් හිතාගත්තත් කට්ටියට වැඩ සෙට් වුනුනිසා දවස් ගාන අඩු කරන්න සිද්ධ උනා.කලින් දවස්වල කටටිය අහල,දැකල තිබුණු දේවල් අනුවත් වැඩිපුර අපේ කට්ටිය නොගියපු තැනක් විදියටත් අපි ග්‍රේට් වෙස්ටර්න් කන්ද තරණය කරන්න හිතා ගත්තා.ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ 5 වැනි උසම කන්ද.කන්දේ උසම ස්ථානය මීටර් 2215.මේ චාරිකාව සඳහා අජිත්,පුෂ්පේ,දිනුක,යසේන්ද්‍ර හා කලන සහභාගී වුනා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය
අඳුනන කවුරුවත් කන්ද තරණය කරන මාර්ගය පිළිබඳව එතරම් දැනුවත් නොවීම නිසාත්,ගමන මාර්ගය පිළිබඳව අන්තර්ජාලයේ විස්තර නොවීම නිසාත් තරමක වැඩි අවදානමක් මෙම ගමනේ තිබුණි.ඕනෑම මොහොතක අවදානම් ගැනීමට කැමති අපේ සෙට් 1 :) වෙනද වගේම මේ ගමනටත් අවශ්‍ය අඩුම කුඩුම හොයාගෙන ගමනට සුදානම් උනා.කට්ටියම හවස 6 ට පමණ බෝඩිමෙන් පිටත් උනේ රෑ 8 ට බදුල්ල බලා යන කෝච්චියෙන් නානුඔයට යන්න හිතාගෙන.අපේ වාසනාවකට වගේ එදින නානුඔයට විශේෂ දුම්රියක් යොදා තිබුන නිසා ගමනාන්තය තෙක් පහසුවෙන් ගමන් කිරීමට හැකි උනා.

නානුඔයට පෙර-ඉහල කොත්මලේ 

නානුඔයට ලඟා වනවිට පාන්දර 3.00 ට ආසන්න වෙලා තිබුනා.උදෑසන වෙනතෙක් නානුඔය දුම්රිය ස්ථානයේ විවේකාගාරයේ නිදාගැනීමට ඉඩකඩ තිබුණි.උදෑසන අවදි වී අවට පරිසරයේ සිරි විඳිමෙන් අනතුරුව අසල පිහිටි කඩයකින් උදෑසන අහාර ලබාගත් අතර 7.30 ට පමණ ග්‍රේට් වෙස්ටර්න් බලා යන ගමන ඇරඹිණි.


කන්ද නැගීමට පටන් ගතයුතු ස්ථානය ගැන ප්‍රදේශවාසීන්ගෙන් අසා දැනගත් පරිදි එය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය නැවතුම හා රදැල්ල දුම්රිය නැවතුම අතර පිහිට තිබුණි.ගම්වැසියන් වන්දනා මාන කරන කෝවිලක් කන්ද උඩ පිහිටා තිබුණු අතර කෝවිල අසලින් ඉහලට කන්ද වෙත යන මාර්ගය වැටි තිබුණි.නානු ඔය සිට එම ස්ථානය වෙත දුම්රිය මාර්ගයේ සුන්දරත්වය විඳිමින් අප ළඟාවනවිට පෙ.ව.10.00 පමණ විය.


කෝවිල වෙත ලඟාවීමට විනාඩි 10 ක් පමණ ගතවිය.එතනින් ඉහලට කඳුමුදුන වෙත පිවිසෙන මාර්ගය තරමක බෑවුමකින් යුතු විය.ගම්වැසියන් කන්දෙන් දර කපා පාර දිගේ ඇදගෙන එම නිසා ලිස්සනසුලු වූ එම මාර්ගයේ අප ඔසවාගෙන ගිය බරත් සමඟ ඉහලට නැගීමට පය තැබීමට තැනක් සෙවීම තරමක් අපහසු විය.


වර්ෂාව දිනක් වූවානම් එය ඉතාම අපහසු කාර්යයක් වන බව අපට හැඟුනි.කන්දේ ඉහලට යත්ම වනාන්තර ස්වභාවය ඉහල ගියත් මිනිස් ක්‍රියාකාරකම් වලින් අඩුවක් නොවූ බව කපා තිබු ගස් ප්‍රමාණයෙන් අපට සිතාගත හැකි විය.තවත් ඉහලට යත්ම අපට කඳුමුදුන වෙත මාර්ගයක් සොයාගැනීමට නොහැකිව පැයක පමණ කාලයක් අතරමංව සිටීමට සිදු වුයේත් ගස් කැපීම සිදුකල එම ප්‍රදේශයේ අඩිපාරවල් රාශියක් වීම නිසාය.එම කාලය තුලදී වනය තුල ගොදුරක් බවට පත්වූ ගෝනෙක්ගේ ඇටකටු ද දැකගත හැකි විය.


නිවැරදි මාර්ගය සොයාගෙන ඉහලට පියනගින අතරතුර වතුර සොයාගැනීම අපට ලොකු ප්‍රශ්නයක් විය.වාසනාවකට මෙන් ඉතා කුඩා දියපාරක් හමු වුයෙන් එතනින් ජලය පානය කර බෝතල් වලටද ජලය පුරවා ඉහලට නැගීමට හැකිවුනි.එම දියපාර අප තෝරාගත් මාර්ගයේ එකම දියපාර වුයේ අපේ අවාසනාවටය.කන්ද ඉහලට යත්ම බෑවුම ඉතා දල විය.
රදැල්ලට පෙනෙන කඳු මුදුන

එක් තැනකදී අඩි 10ක් පමණ උස ඉතා දල බෑවුමක් වූ අතර එහිදී ලණු භාවිතා කර කඹයක් සාදා ඉහලට නැගීමට අපට සිදු විය.එහිදී අජිත් සහ දිනුක ප්‍රථමයෙන් ඉහලට ගොස් කඹය රඳවා අන් පිරිස හා ගමන් මලු ඉහලට ගැනීමට මුලික විය.එම අවදානම් ස්ථානය ඉතා අනතුරුදායක වුයේ එතනින් පහලට අඩි 300 ක් පමණ ප්‍රපාතය වු බැවිනි.ලිස්සනසුලු අවස්ථාවක හෝ ගමන් මලු රැගෙන එහි ගමන් කිරීම කිසිසේත් නොකළ යුතු දෙයකි.එතනින් පසුව ගමන් මාර්ගයේ එතරම් අපහසු තැනක් නොවුවත් ප්‍රවේසමෙන් ගමන් නොකළහොත් අඩි අඩි 300-400ක ප්‍රපාතයකට ඇද වැටීමට ඇති සම්භාවිතාව ඉතා ඉහල විය.


කෙසේ නමුත් අප එම කඳු මුදුනට සේන්දු වනවිට සවස 2.30 පමණ විය.එදින රාත්‍රිය කන්දේ ගතකිරීමට කුඩාරම්,ආහාර පිසීමට අඩුම කුඩුම ඉහලටම ගෙන ගියත් එම කඳුමුදුන ආසන්නයේ බෑවුම්වල ජලය සොයාගැනීමට උල්පතක් හෝ දියපාරක් කිසිම තැනක් නොවිය.නමුත් කඳවුරු කිරීමට සුදුසු එළිමහන් පැතලි බිමක් සහ දර එහි පැවතිනි.

කඳු මුදුනේදී...
අප සතුව පැවතියේ පහලදී පුරවාගෙන පැමිණි ජලය පමණි.එය රාත්‍රී අහාරය පිසීමට හා බිමට ප්‍රමාණවත් නොවූ නිසා අවට නැරඹීමෙන් අනතුරුව කන්ද බැසීමට කට්ටිය තීරණය කළා.කන්දෙන් බැසීමට වෙනත් මාර්ගයක් සෙවුවත් ඒ සියල්ල ප්‍රපාත වලින් කෙලවර විය.

ප්‍රපාතයකින් කෙලවර වූ සුන්දර මාර්ගයක්.
එම නිසා අකමැත්තෙන් වුවත් වර්ශාවක පෙරනිමිති පහල වුයෙන් හොඳම විකල්පය වශයෙන් ඉහලට නැඟී මාර්ගයම පහලට බැසීමට තෝරා ගත්තා.පහලට බැසීම ආරම්භ කරන විට සවස 4.00 වී තිබුණි.ඉහලට නැඟීම තරම් අපහසු නොවුනු මුත්,සිරීම් තුවාල විශාල ප්‍රමාණයක් සහිතව එහෙත් සවස 6.00 ට පෙර දුම්රිය මාර්ගය වෙත ලඟාවීමට අපට හැකිවිය.


දුම්රිය මාර්ගය අසල වු සියලු විඩා නිවා දැමිය හැකි පීල්ලකින් නෑමට අපට හැකිවූ අතර එතනදීම තේ උගුරක්‌ රස විඳීමට අපට හැකි වුනි.ඉන්පසුව අප ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය වෙත කලුවරේම පියනැගු අතර දුම්රිය ස්ථානයේ පිරිස ඉතා කාරුණික පිරිසක් වු අතර අපට එහි විවේකාගරයේ නැවතීමට අවසර දුන් අතර දුම්රිය වේදිකාවේ අහාර පිසගැනීමට අවසරත් ඒ සඳහා දර ද ලබා දුනි.


රාත්‍රී අහාරය
දුම්රිය පොළේ පිරිස අප මගපෙන්වන්නෙකු රහිතව ගමන් කිරීම අනුමත නොකළෝය.රාත්‍රී අහාරය ලබා ගන්නා විට රාත්‍රී 9.00 පමණ විය.පසු දිනයේදී පුෂ්පේ,දිනුක හා යසේන්ද්‍ර නැවත කොළඹ බලා යාමටත් මම,කලන හා අජිත් දෙමෝදර පාලම වෙත යාමටත් කතිකා කරගෙන නින්දට වැටුණි.


අප තිදෙනා පමණක් බදුල්ල බලා යන දුම්රියට නැගුනේ දෙමෝදර ප්‍රදේශයේ සංචාරයක් කිරීමේ අරමුණිනි.ප්‍රදානම අවශ්‍යතාවය වුයේ ශ්‍රි ලාංකීය නිර්මාණකරුවෙකු අතින් නිමවූ දෙමෝදර ආරුක්කු 9 පාලම වෙත යාමයි.

ඒ සඳහා ඇල්ල දුම්රිය ස්ථානයෙන් කි.මි.2ක් පමණ දෙමෝදර දෙසට යාමට සිදුවිණි.ඇල්ල දුම්රිය ස්ථානයෙන් සවස 2.00 ට පමණ බැස දෙමෝදර පාලම වෙත යනවිට සවස 3.00 විය.3.30 වනවිට එතනින් දුම්රියක් ගමන් කරනබව දැනගත් නිසා අසල වු කුඩා කඳු ගැටයකටවී බලා සිටින්නට විය.

දුම්රිය පාලමෙන් එතෙර වනතෙක් සිට දෙමෝදර වෙත ගමන් ඇරඹීය.දෙමොදරවෙත තවත් කි.මි.2ක් පමණ ගෙවා ළඟාවනවිට සවස 4.30 පමණ විය.
දෙමෝදර දුම්රිය ස්ථානය සුවිශේෂ වනුයේ දුම්රිය ස්ථානය යටින් බිංගෙයක් පැවතීම නිසාය.එම වටරවුම් මාර්ගය ඔස්සේ දෙමෝදර කලු පාලම වෙත ගමන් කොට ගඟෙන් නාගෙන නැවතත් දුම්රිය ස්ථානය වෙත පියනැගුවේ කොළඹ වෙත යන දුම්රිය සවස 6.45 වන විට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ළඟාවන බව දැනසිටි නිසාවෙනි.


එම දුම්රියේ නැඟී පැය 10ක් පමණ ගතකල පසු අප කොළඹ වෙත ලඟා වී තිබුණි.උදේ 7 පමණ වනවිට තවත් ත්‍රාසජනක,සාර්ථක චාරිකාවක් නිමා කර බෝඩිම වෙත ළඟ වීමට අපට හැකි විය.