Thursday, February 28, 2013

සිංහරාජය හරහා

බ්ලොග් එකට කලෙකින් මොනවත් දැම්මේ නෑ.මේ පොස්ට් දැම්මට ඒ නොදාපු කාලෙත් අපි අපේ රටවටේ යන චාරිකාව නතර කලේ නෑ.ඒවත් ටික දවසකින් දානවා.
සිංහගල මුදුනේදී...
මේ චාරිකාව ටිකක් වෙනස් විදියේ එකක්.ඒක දවසක පැය 12ක් තුල 36 km ක දුරක්  රටේ දිස්ත්‍රික්ක 4ක මායිම් හා සිංහරාජ වනාන්තරයේ උසම ස්ථානයක් වන සිංහගල හරහා පයින් ගමන් කිරීම නිසා මේ චාරිකාව අලුත් අද්දැකීමක් කියල කියන්න පුළුවන්.සිංහරාජ වනාන්තරය කියන්නේ අපේ සෙට් එකට අලුත් ,නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි.පහුගිය අවුරුදු දෙක තුල දෙවතාවකට වඩා වනයට පය තියල තිබුණු අපේ කීපදෙනෙක් මේ අවුරුද්දේ සිංහරාජය cross කරනවා කියල හිතාගෙන මේ ගමන සැලසුම් කරන්නට උනා.ගමන සම්පුර්ණයෙන්ම වගේ සංවිධානය කලේ අජිත්.
....අජිත් කලවාන විදුලිබල මණ්ඩලයට අයත් නවාතැන් පොලක් වෙන්කර තිබුනා....
පුබුදු සහ ශෂික  කලවාන ආසන්නයේ පිහිටි කුඩව පිවිසුමෙන් සිංහරාජයට පිවිස සිංහ ගලට ඇවිත් තිබුනා.මම,අජිත් සහ පුෂ්පේ දෙනියායෙන් සිංහ ගලට ඇවිත් තිබුනා.ඉතින් අපේ අදහස උනේ පාර දන්න අපේ කට්ටිය එක්ක කලවානෙන් ගමන ආරම්භ කරලා දෙනියායෙන් අවසන් කරන්න.මේ ගමනට රංජන එකතු උනේ සිංහරාජයට යන කෝඩු කාරයෙක් විදියට.
අපේ නවාතැන..
පලවෙනි දවසේ අපිට කුඩව පිවිසුමට ආසන්න ප්‍රදේශයක නවතින අවශ්‍යතාව තදින්ම තිබුනා.මොකද කියනවනම් සිංහරාජය හරහා යන ගමන ඒක දවසකින් අවසන් කරන්න අවශ්‍ය නිසා ඉතා උදෙන්ම පිවිසුම වෙත ගමන කල යුතු වූ නිසයි.ඒ සඳහා අජිත් කලවාන විදුලිබල මණ්ඩලයට අයත් නවාතැන් පොලක් වෙන්කර තිබුනා.
දිය බුං ...
අපේ ගමන ආරම්භ කරමින් 15 වැනි දින හවස 4 වන විට සියලු දෙනා මීපෙගම (නිකගොඩ හන්දියට) එකතුවුනා.එය කලවනත් බදුරලියත් අතර ප්‍රදේශයක්.එතන සිට අපේ නවාතැනට 1 km පමණ තිබුනා.කට්ටිය දවසෙම මහන්සිය යන්නත් එක්ක කලින්ම නින්දට වැටුනේ ඊළඟ දවසේ කරන්න ඉන්න වැඩේ ගැන පොඩි කතාබහකුත් කරලා ඉවරවෙලා.
පිවිසුම ආසන්නයේදී..
නවාතැන්පලින් ලබා දුන් ආහාර පාර්සලය සමගින් අප ගමන ආරම්භ කරනකොට උදේ 5.00 විතර වෙලා.එතන ඉදන් කලවාන නගරයට පයින්ම ඇවිදගෙන ගියේ එම වෙලාවට නියමිතව තිබු බසය ප්‍රමාද වීම නිසයි.කලවාන නගරයෙන් කුඩවට පළමු බසය පිටත් වෙන්නේ 6.45 ට වුවත් එදින එය නොමැති වූයෙන් අපට කුඩවට යාමට සිදු වුයේ 7.20 බසයේය.කුඩව බස් නවත්වන ස්ථානය වෙත අප ලඟා වෙන විට උදේ  8.30 විතර වුනා.
හැමදාම හමුවෙන කෙනෙක්
Cruiser
එතන ඉඳල කුඩව පිවිසුම වෙත අපි ඉක්මනින් පියනැගුවා.පිවිසුමෙන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන වනයට පිවිසෙන විට උදේ 9.00 ට ආසන්න වෙලා තිබුනා.කුඩව පර්යේෂණ මධ්‍යස්ථානය තෙක් ගමන් කරන මාර්ගය පුළුල්ව තිබුනත් එතනින් ඔබ්බට අප වඩාත් කැමති වනගත මාර්ගයක් ලෙස තිබුනා.එම මාර්ගය දෙනියායෙන් සිංහගලට මාර්ගය තරම් දුෂ්කර නොවුනත් කුඩල්ලන්ගෙන් අඩුවක් නම් තිබුනේ නෑ.ඉතා ඉක්මන් ගමනින් සිංහගල වෙත යාමට අපට පුළුවන්කම ලැබුනේ ගමන් කල සියලු දෙනාම වගේ මෙවන් ගමන් වලට පුරුදු කාරයන් වූ නිසයි.දහවල් 12.30 වනවිට සිංහගල මුදුනේදී දහවල් ආහාරය ගන්න අපට හැකි උනා.
සිංහගල මුදුනේදී...
හවස 1.30 පමණ වෙනකොට සිංහගල මුදුනින් දෙනියාය දිහාවට බහින්න පටන් ගත්තා.මාස ගානකින් ඒ පැත්තේ කවුරුවත් ඇවිත් නැති බව පාර දැක්කම අපිට තේරුම ගියා.සමහර තැන් ගස් වැටිලා පාර අවිහිර වෙලා තිබුනා.එත් කොහොමින් කොහොම හරි පාර හොයාගෙන හවස 3.30 වෙනකොට කැලයෙන් එලියට එන්න අපිට පුළුවන් උනා.

එතන ඉදල අජිත්ලගේ ගෙදරට කි.මි.10 ක් විතර තියෙනවා.මෙච්චර දුර ඇවිදපු එකේ ඕක මොකක්ද කියල කකුලට පින් දිදී අජියලගේ ගෙදරට ගොඩ වෙද්දී කළුවරත් වැටිලා..මට මතක විදියට රෑ 7.30 විතර වෙලා..

ඉතින් ලොකු වැඩක් කළා කියල හිතේ පොඩි ආඩම්බර කමකුත් හංගගෙන, තවත් ගමනකුත් ප්ලෑන් කරලා ඊළඟ දවසේ කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියා.

අපේ සෙට් ඒක :අජිත්,පුෂ්පේ,ශෂික.පුබුදු,රංජන,අකිල(මම)
ගමන් මාර්ගය :මීපෙගම >කලවාන>කුඩව(වැද්දාගල හරහා)>සිංහගල>පිටදෙනිය>හෙට්ටිකන්ද>දෙනියාය
සම්පුර්ණ දුර :ආසන්න වශයෙන් කි.මි 36
කළුතර,රත්නපුර,ගාල්ල හා මාතර දිස්ත්‍රික් මායිම් හරහා ගමන් මාර්ගය වැටි තිබුණි.


3 comments:

  1. දෙනියායෙන් සිංහගලට යන්න guide කෙනෙක් හොයාගන්න දෙපාරක් මට බැරි වුනා එහෙම එකේ උඹල තනියෙන් ආපු එකම ඇති මල්ලියේ

    ReplyDelete