Thursday, December 12, 2013

A9 අද්දර ජීවිතය...

දැන් යාපනේ ට්‍රේනින් ඇවිත් මාසයකටත් කිට්ටුයි.හෙඩ් ඔෆිස් එකෙන් කොඩිකාමම් ට්‍රේනි විදියට නම දාපු වෙලාවේ පොඩි බයකුත් දැනුනේ නැත්තේම නෑ.දැන් නම් ඉතින් යාපනෙත් ගෙදර වගේ තමා.

කොඩිකාමම් කියන්නේ A9 අද්දර තියෙන පොඩි ටවුන් එකක්.පාර අද්දරමයි අපේ ස්ටේෂන් එක තියෙන්නෙත්.ඉස්සරහ තියෙන්නේ පොස්ට් ඔෆිස් එකක්.හවසට කර්තකොලොම්බන් අඹ කඩන්නේ ඒ ඔෆිස් එකෙන් තමා.සයිට් එක ගැන කතා කලොත් ඒක ගොඩක් දුරට හදල ඉවරයි.අපේ අනිත් කස්ටිය ට්‍රේනින් ගැන කියපු කරපු දේවල් අහනකොට සමහර මේක මදි වගේ දැනුනේ නොදනුවත්වමයි.ඒත් ඒ මුල් දවස් කීපයේ විතරයි.අද වෙනකොට මට කරන්න ,අහන්න දකින්න ලැබුණු දේවල් එක්ක මාර සතුටක් දැනෙන්නේ.කෝමින් කෝම හරි මට සයිට් ඉන්චාර්ජ් විදියට ඉන්නත් අවස්ථාවක් ලැබිල තියෙන්නේ.(වැඩ බලන  12/11 -12/15)පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මම කියන දෙමල වැඩකරන අයට තේරෙන්නේ නැති එකයි,එයාලගේ දෙමල මට තේරෙන්නේ නැති එකයි විතරයි.

දෙසැම්බර් කියන්නේ යාපනේට වහින කලේ.මේ කලේ යාපනේ ට්‍රේනින් එන්න මේකත් ඒක හේතුවක් උනා.පරිසරයේ රස්නය අඩු වීමත් සත්තු ප්‍රමාණය වැඩි වීමත් මේකට හේතු උනා.(කලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නේ..).වැඩපටන් ගන්නත් එක්ක සමනල බිත්තර ටිකකුත් හොයා ගත්ත කියමුකෝ.

A9 ගැන කියනවා නම් මේක ගාලු පාරටත් වඩා වාහන වැඩි ද කියක හිතෙන වෙලාවලුත් තියෙනවා.වවුනිය-යාපනය බස් හරියට මොරටුව පිටකොටුව බස් වගේමයි.වෙනසකට තියෙන්නේ මෙහෙ බස් 60ට අඩුවෙන් යන්නේ නැති 1 විතරයි.

පාරවල් වල කෙල්ලෙක් කුඩයක් ඉහාගෙන යනවා දකින්නේ එහෙමත් කලාතුරකින්.හුඟක්ම ගෑනු ළමයි පාවිච්චි කරන්නේ බයිසිකල්.ඒ නිසාමද කොහේදෝ ඒ අය ටිකක් කලුයි.සුදු ගෑනු ළමයි නැත්තෙමත් නෑ..හැබැයි හුගක් අය යන්නේ මෝටර් බයිසිකල් වල.සුදයි,වත්කමයි අතර අනුලෝම සමානුපතිකත්වයක් තියෙනවද කියලත් හිතෙනවා.ඒ කෝම උනත් බයිසිකල් හෙමින් මගේ ස්ටේෂන් ඒක පහුකරන් යන අතරේ මෝටර් බයික් නම් වේගෙන් ස්ටේෂන් ඒක පහු කරන් යනවා.
සන්කෙන් ට්‍රේනින් යන්න කලින් හුඟක් අය කිව්වා යන්න එපා බන් වැඩ වැඩියි,නිදා ගන්න වත් වෙලාවක් නැති වෙයි කියල.ඒත් මෙහෙ එහෙම නෑ.උදේ 9-10 විතර වැඩ පටන් අරන් හවස 5 වෙනකොට මෙහෙ වැඩ ඉවරයි.(කට වරැද්ද ගත්තද මන්ද...)ඉතින් කරන්න තියෙන්නේ රෑ ටීවී සිරිස් එකක් හරි ෆිල්ම් එකක් හරි බලලා උදේ 7 වෙනකන් නිදා ගන්න ඒක තමයි.මෙහෙ හිටපු දවස් 20 ට මට සයිට් 4 ක වැඩ කරන්න/බලන්න  අවස්තාව ලැබුනා.යාපනය ස්ටේෂන්,නාවට්කුලි බැචින් ප්ලාන්ට් ,නාවට්කුලි පාලමේ පයිල් කැප්‍ ඒක වගේ දේවලට සහබාගි වෙන්න අවස්තාව ලැබුනා.කොමත් තව ටික දවසකින් තවත් අලුත් තැනකට යනවා ට්‍රේනින්ග් වලට.ආසන්නම මතකයෙන් A9 ගැන ලියන්න ඕන නිසයි මේකත් ලිව්වේ.අවසාන වශයෙන් කියන්න තියෙන්නේ යාපනය කියන්නේ බෝම ඉක්මනින් දියුණු වෙන නගරයක්.පහුගිය අවුරුද්දේ මැයි වලදී දැකපු යාපනය නෙවි අද දකින්න තියෙන්නේ..so don't miss your chances to visit here.....

(මගේ මාස 6 vacation එක - To be conT: )

Wednesday, November 13, 2013

බෝඩිමේ කතා වල අවසානය ??

අද මට මේක ලියන්න හිතුනේ ප්‍රමෝද් ලියල තිබුණු දෙයක් දැකල.ඇත්තටම මේක අපේ බෝඩිමේ කතා වල අවසානයද??
මේ ෆොටෝ එක අපි ගත්තේ අපි කැම්පස් ඇවිල්ල සෙමෙස්ටර් 2ක් විතර ගියාට පස්සේ ප්‍රමෝද්ගේ පොඩි කැම් 1න්. මේකෙන් පස්සේ මේ වගේ ෆොටෝ එකක් ගන්න අපිට අවස්තාවක් ලැබුනේ නෑ.එත් 2013.11.13 වෙනිදා අපි අපේ බෝඩිම ඇත හැරලා යන මොහොතේ කලනට,ප්‍රමෝද් ට 60D තිබුනත් මේ වගේ කට්ටිය "එකතු කරලා" ෆොටෝ ගන්න අපිට උවමනාවක් තිබුනේම නෑ.ඒ අවුරුදු  කිහිපයේදී අපට මොකද උනේ??

හෝව් හෝව්...බෝඩිමේ කතාව මේ විදියට කියන්න හදනකොට කට්ටිය අවුල් යයිද මන්ද!

ඇත්තටම ෆොටෝ කතාවට උත්තරේ මේකයි..අපි බෝඩිමෙන් යන දවසේදී අපි එකට ඉන්නවා කියල තහවුරු කරගන්න මතක සටහනක් වෙනම උවමනා කලේ නෑ.10 දෙනාගේම හිත් වල ඒ දේ ගැඹුරේම සටහන් වෙලා තිබුනේ."මචන් මම යනවා,පරිස්සමින් හිටපන්"කියල බෝඩිමේ එකෙක් ලට්ට ලොට්ට අරගෙන යන වෙලාවේදීත්....අනෙක් අය "එල මචන් ,උඹත් පරිස්සමෙන් ඉඳපන්"කියල කියපු වචන කිහිපයේත් ඒ බැඳීම සටහන් වෙලා තියෙනවා මම දැක්කා.වල බහිනවානම් වලද,ඇක දානවනම් ඇකද,වලි නම් වලිද බැස්සේ බෝඩිමේ උන් එකටමය.කොයිතරම් නොගැලපීම් ආවත් ඒවා විසඳාගෙන අවසානයේ අපි අපේ ගමන ආවා.ඉතින් මිට වසර 2කට පමණ පෙර චායාරුපයට නැගුනු එම සහෝදරත්වය නැවත වසර 2 කට පසු චායාරුපයකින් වෙන්කොට දකින්නේ කොහොමද ??...

අපේ බෝඩිම හැදෙන්නට මුලික වෙන්නේ 2010 අවුරුද්දේ  මාතරදී සංවිධානය කරපු මැච් එකක්.එතැනදී උදේ රෑ මහන්සිය නොබලා වැඩ කරපු idea දාපු සෙට් 1 තමා මේ විදියට බෝඩිමට එකතු උනේ.එතනදී 1st ,second shy කියල බෙදීමක් තිබුනේ නෑ.ඉස්කෝලේ එක පන්තියේ හිටිය කියල එකතු වෙන්න ඕන උනේ නෑ.රාහුල,සෙන්ට් තෝමස්,සර්වේශස් කියල ප්‍රශ්නයක් තිබුනේ නෑ.අපේ බෝඩිම කැකනදුර ඉඳං පටන් ගත්තම ගන්දර,දික්වැල්ල,තිස්සමහාරාම,සෙල්ලකතරගම,ඇඹිලිපිටිය,තණමල්විල,බෙලිඅත්ත,දෙනියාය ,සම්පුර්ණ රුහුණු රටම ආවරණය කරන පිරිසක් එකතු වුනු තැනක්. ඒ නිසා බෝඩිමේ කවදාවත් අලුත් අදහස් වලින් අඩුවක් උනේ නෑ.ඒ වගේම වැඩක් කරගන්න උනොත් VC හමුවෙලා හරි ඒ වැඩේ කරගන්න පුළුවන් උනුත් මේකේ හිටියා.
කැම්පස් එකට එන්න කලින් ඉඳං exmo එකට පෝස්ටර් ගහල වැඩ පටන් ගත්තු අපිට වෙන් වී වෙසෙන මේ මාස 6 අවසානයක් වෙන්නේ කොහොමද කියන එක මට නම් ගැටළුවක්.සමහර දේවල් වලදී අපි ඔක්කොම එකම බෝඩිමේ නිසා ලැබෙන්න තිබුනු දේවල් නොලැබුණු වෙලාවලුත් තිබුනා.එත් ඒ අවස්ථා වලදී හිත යටින් සතුටක් තිබුනා මේ දේවල් නොලැබෙන්නේ අපේ යමක් තියෙන නිසා කියල.මේ අවුරුදු 3 ඇතුලතදී කැම්පස් එකට අලුත් දේවල් එකතු කරන්නත් අපේ අදහස් සහ තීරණ වලට පුළුවන් උනා.දහදිය මහන්සියෙන් උපන් පන්නරය පරයා රැඩිකල් චින්තන රජයන යුගයක කොන්ද කෙලින් තියාගෙන අපේ ගමන යන්ටත් අපට පුළුවන් වුනා.

බෝඩිමේ මචන්ලා...සතුටු වෙමු !මේ අවුරුදු 3 ඇතුලත අපි genuine game1ක්  play කලා.ඉස්සරහට අපි මේකෙන් අවුට් වේවි....ජොබ් කරාවි ....එතනින් පස්සේ කරන දේවලුත් කරාවි.එත් ඉදිරියට අපිට ලැබෙන දේවල් මේ අවුරුදු 3 ඇතුලත අපි එකතුවෙලා කරපු කියපු ලබා ගත්තු දේවල් මත රඳා තියේවි.ඉතින් මචන් මේක බෝඩිමේ කතා වල අවසානයද?....නැත්නම් තවත් ආරම්භයක්ද??


Sunday, March 31, 2013

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනින් දෙමෝදර ආරුක්කු පාලමට...


චායාරූ සටහන්...Click Here


නිවාඩු කියන්නේ අපේ කැම්පස් 1 ට අලුත් දෙයක් නෙවෙයි.ඒ ලැබෙන නිවාඩු වලදී ලංකාවේ කොහේ හරි රවුමක් දාන 1ත් අපේ සෙට්1ට අලුත් දෙයකුත් නෙවෙයි.මාර්තු 28 නිවාඩු ලැබෙනවා කියල දැනගත්තු දවසේ ඉදලම තමා අපි ට්‍රිප් 1ක් යන්න ප්ලෑන් කලේ.දවස් 3,4 ක් කොහේ හරි යන්න කියල කලින් හිතාගත්තත් කට්ටියට වැඩ සෙට් වුනුනිසා දවස් ගාන අඩු කරන්න සිද්ධ උනා.කලින් දවස්වල කටටිය අහල,දැකල තිබුණු දේවල් අනුවත් වැඩිපුර අපේ කට්ටිය නොගියපු තැනක් විදියටත් අපි ග්‍රේට් වෙස්ටර්න් කන්ද තරණය කරන්න හිතා ගත්තා.ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ 5 වැනි උසම කන්ද.කන්දේ උසම ස්ථානය මීටර් 2215.මේ චාරිකාව සඳහා අජිත්,පුෂ්පේ,දිනුක,යසේන්ද්‍ර හා කලන සහභාගී වුනා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය
අඳුනන කවුරුවත් කන්ද තරණය කරන මාර්ගය පිළිබඳව එතරම් දැනුවත් නොවීම නිසාත්,ගමන මාර්ගය පිළිබඳව අන්තර්ජාලයේ විස්තර නොවීම නිසාත් තරමක වැඩි අවදානමක් මෙම ගමනේ තිබුණි.ඕනෑම මොහොතක අවදානම් ගැනීමට කැමති අපේ සෙට් 1 :) වෙනද වගේම මේ ගමනටත් අවශ්‍ය අඩුම කුඩුම හොයාගෙන ගමනට සුදානම් උනා.කට්ටියම හවස 6 ට පමණ බෝඩිමෙන් පිටත් උනේ රෑ 8 ට බදුල්ල බලා යන කෝච්චියෙන් නානුඔයට යන්න හිතාගෙන.අපේ වාසනාවකට වගේ එදින නානුඔයට විශේෂ දුම්රියක් යොදා තිබුන නිසා ගමනාන්තය තෙක් පහසුවෙන් ගමන් කිරීමට හැකි උනා.

නානුඔයට පෙර-ඉහල කොත්මලේ 

නානුඔයට ලඟා වනවිට පාන්දර 3.00 ට ආසන්න වෙලා තිබුනා.උදෑසන වෙනතෙක් නානුඔය දුම්රිය ස්ථානයේ විවේකාගාරයේ නිදාගැනීමට ඉඩකඩ තිබුණි.උදෑසන අවදි වී අවට පරිසරයේ සිරි විඳිමෙන් අනතුරුව අසල පිහිටි කඩයකින් උදෑසන අහාර ලබාගත් අතර 7.30 ට පමණ ග්‍රේට් වෙස්ටර්න් බලා යන ගමන ඇරඹිණි.


කන්ද නැගීමට පටන් ගතයුතු ස්ථානය ගැන ප්‍රදේශවාසීන්ගෙන් අසා දැනගත් පරිදි එය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය නැවතුම හා රදැල්ල දුම්රිය නැවතුම අතර පිහිට තිබුණි.ගම්වැසියන් වන්දනා මාන කරන කෝවිලක් කන්ද උඩ පිහිටා තිබුණු අතර කෝවිල අසලින් ඉහලට කන්ද වෙත යන මාර්ගය වැටි තිබුණි.නානු ඔය සිට එම ස්ථානය වෙත දුම්රිය මාර්ගයේ සුන්දරත්වය විඳිමින් අප ළඟාවනවිට පෙ.ව.10.00 පමණ විය.


කෝවිල වෙත ලඟාවීමට විනාඩි 10 ක් පමණ ගතවිය.එතනින් ඉහලට කඳුමුදුන වෙත පිවිසෙන මාර්ගය තරමක බෑවුමකින් යුතු විය.ගම්වැසියන් කන්දෙන් දර කපා පාර දිගේ ඇදගෙන එම නිසා ලිස්සනසුලු වූ එම මාර්ගයේ අප ඔසවාගෙන ගිය බරත් සමඟ ඉහලට නැගීමට පය තැබීමට තැනක් සෙවීම තරමක් අපහසු විය.


වර්ෂාව දිනක් වූවානම් එය ඉතාම අපහසු කාර්යයක් වන බව අපට හැඟුනි.කන්දේ ඉහලට යත්ම වනාන්තර ස්වභාවය ඉහල ගියත් මිනිස් ක්‍රියාකාරකම් වලින් අඩුවක් නොවූ බව කපා තිබු ගස් ප්‍රමාණයෙන් අපට සිතාගත හැකි විය.තවත් ඉහලට යත්ම අපට කඳුමුදුන වෙත මාර්ගයක් සොයාගැනීමට නොහැකිව පැයක පමණ කාලයක් අතරමංව සිටීමට සිදු වුයේත් ගස් කැපීම සිදුකල එම ප්‍රදේශයේ අඩිපාරවල් රාශියක් වීම නිසාය.එම කාලය තුලදී වනය තුල ගොදුරක් බවට පත්වූ ගෝනෙක්ගේ ඇටකටු ද දැකගත හැකි විය.


නිවැරදි මාර්ගය සොයාගෙන ඉහලට පියනගින අතරතුර වතුර සොයාගැනීම අපට ලොකු ප්‍රශ්නයක් විය.වාසනාවකට මෙන් ඉතා කුඩා දියපාරක් හමු වුයෙන් එතනින් ජලය පානය කර බෝතල් වලටද ජලය පුරවා ඉහලට නැගීමට හැකිවුනි.එම දියපාර අප තෝරාගත් මාර්ගයේ එකම දියපාර වුයේ අපේ අවාසනාවටය.කන්ද ඉහලට යත්ම බෑවුම ඉතා දල විය.
රදැල්ලට පෙනෙන කඳු මුදුන

එක් තැනකදී අඩි 10ක් පමණ උස ඉතා දල බෑවුමක් වූ අතර එහිදී ලණු භාවිතා කර කඹයක් සාදා ඉහලට නැගීමට අපට සිදු විය.එහිදී අජිත් සහ දිනුක ප්‍රථමයෙන් ඉහලට ගොස් කඹය රඳවා අන් පිරිස හා ගමන් මලු ඉහලට ගැනීමට මුලික විය.එම අවදානම් ස්ථානය ඉතා අනතුරුදායක වුයේ එතනින් පහලට අඩි 300 ක් පමණ ප්‍රපාතය වු බැවිනි.ලිස්සනසුලු අවස්ථාවක හෝ ගමන් මලු රැගෙන එහි ගමන් කිරීම කිසිසේත් නොකළ යුතු දෙයකි.එතනින් පසුව ගමන් මාර්ගයේ එතරම් අපහසු තැනක් නොවුවත් ප්‍රවේසමෙන් ගමන් නොකළහොත් අඩි අඩි 300-400ක ප්‍රපාතයකට ඇද වැටීමට ඇති සම්භාවිතාව ඉතා ඉහල විය.


කෙසේ නමුත් අප එම කඳු මුදුනට සේන්දු වනවිට සවස 2.30 පමණ විය.එදින රාත්‍රිය කන්දේ ගතකිරීමට කුඩාරම්,ආහාර පිසීමට අඩුම කුඩුම ඉහලටම ගෙන ගියත් එම කඳුමුදුන ආසන්නයේ බෑවුම්වල ජලය සොයාගැනීමට උල්පතක් හෝ දියපාරක් කිසිම තැනක් නොවිය.නමුත් කඳවුරු කිරීමට සුදුසු එළිමහන් පැතලි බිමක් සහ දර එහි පැවතිනි.

කඳු මුදුනේදී...
අප සතුව පැවතියේ පහලදී පුරවාගෙන පැමිණි ජලය පමණි.එය රාත්‍රී අහාරය පිසීමට හා බිමට ප්‍රමාණවත් නොවූ නිසා අවට නැරඹීමෙන් අනතුරුව කන්ද බැසීමට කට්ටිය තීරණය කළා.කන්දෙන් බැසීමට වෙනත් මාර්ගයක් සෙවුවත් ඒ සියල්ල ප්‍රපාත වලින් කෙලවර විය.

ප්‍රපාතයකින් කෙලවර වූ සුන්දර මාර්ගයක්.
එම නිසා අකමැත්තෙන් වුවත් වර්ශාවක පෙරනිමිති පහල වුයෙන් හොඳම විකල්පය වශයෙන් ඉහලට නැඟී මාර්ගයම පහලට බැසීමට තෝරා ගත්තා.පහලට බැසීම ආරම්භ කරන විට සවස 4.00 වී තිබුණි.ඉහලට නැඟීම තරම් අපහසු නොවුනු මුත්,සිරීම් තුවාල විශාල ප්‍රමාණයක් සහිතව එහෙත් සවස 6.00 ට පෙර දුම්රිය මාර්ගය වෙත ලඟාවීමට අපට හැකිවිය.


දුම්රිය මාර්ගය අසල වු සියලු විඩා නිවා දැමිය හැකි පීල්ලකින් නෑමට අපට හැකිවූ අතර එතනදීම තේ උගුරක්‌ රස විඳීමට අපට හැකි වුනි.ඉන්පසුව අප ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය වෙත කලුවරේම පියනැගු අතර දුම්රිය ස්ථානයේ පිරිස ඉතා කාරුණික පිරිසක් වු අතර අපට එහි විවේකාගරයේ නැවතීමට අවසර දුන් අතර දුම්රිය වේදිකාවේ අහාර පිසගැනීමට අවසරත් ඒ සඳහා දර ද ලබා දුනි.


රාත්‍රී අහාරය
දුම්රිය පොළේ පිරිස අප මගපෙන්වන්නෙකු රහිතව ගමන් කිරීම අනුමත නොකළෝය.රාත්‍රී අහාරය ලබා ගන්නා විට රාත්‍රී 9.00 පමණ විය.පසු දිනයේදී පුෂ්පේ,දිනුක හා යසේන්ද්‍ර නැවත කොළඹ බලා යාමටත් මම,කලන හා අජිත් දෙමෝදර පාලම වෙත යාමටත් කතිකා කරගෙන නින්දට වැටුණි.


අප තිදෙනා පමණක් බදුල්ල බලා යන දුම්රියට නැගුනේ දෙමෝදර ප්‍රදේශයේ සංචාරයක් කිරීමේ අරමුණිනි.ප්‍රදානම අවශ්‍යතාවය වුයේ ශ්‍රි ලාංකීය නිර්මාණකරුවෙකු අතින් නිමවූ දෙමෝදර ආරුක්කු 9 පාලම වෙත යාමයි.

ඒ සඳහා ඇල්ල දුම්රිය ස්ථානයෙන් කි.මි.2ක් පමණ දෙමෝදර දෙසට යාමට සිදුවිණි.ඇල්ල දුම්රිය ස්ථානයෙන් සවස 2.00 ට පමණ බැස දෙමෝදර පාලම වෙත යනවිට සවස 3.00 විය.3.30 වනවිට එතනින් දුම්රියක් ගමන් කරනබව දැනගත් නිසා අසල වු කුඩා කඳු ගැටයකටවී බලා සිටින්නට විය.

දුම්රිය පාලමෙන් එතෙර වනතෙක් සිට දෙමෝදර වෙත ගමන් ඇරඹීය.දෙමොදරවෙත තවත් කි.මි.2ක් පමණ ගෙවා ළඟාවනවිට සවස 4.30 පමණ විය.
දෙමෝදර දුම්රිය ස්ථානය සුවිශේෂ වනුයේ දුම්රිය ස්ථානය යටින් බිංගෙයක් පැවතීම නිසාය.එම වටරවුම් මාර්ගය ඔස්සේ දෙමෝදර කලු පාලම වෙත ගමන් කොට ගඟෙන් නාගෙන නැවතත් දුම්රිය ස්ථානය වෙත පියනැගුවේ කොළඹ වෙත යන දුම්රිය සවස 6.45 වන විට දෙමෝදර දුම්රිය ස්ථානය වෙත ළඟාවන බව දැනසිටි නිසාවෙනි.


එම දුම්රියේ නැඟී පැය 10ක් පමණ ගතකල පසු අප කොළඹ වෙත ලඟා වී තිබුණි.උදේ 7 පමණ වනවිට තවත් ත්‍රාසජනක,සාර්ථක චාරිකාවක් නිමා කර බෝඩිම වෙත ළඟ වීමට අපට හැකි විය.


Thursday, February 28, 2013

සිංහරාජය හරහා

බ්ලොග් එකට කලෙකින් මොනවත් දැම්මේ නෑ.මේ පොස්ට් දැම්මට ඒ නොදාපු කාලෙත් අපි අපේ රටවටේ යන චාරිකාව නතර කලේ නෑ.ඒවත් ටික දවසකින් දානවා.
සිංහගල මුදුනේදී...
මේ චාරිකාව ටිකක් වෙනස් විදියේ එකක්.ඒක දවසක පැය 12ක් තුල 36 km ක දුරක්  රටේ දිස්ත්‍රික්ක 4ක මායිම් හා සිංහරාජ වනාන්තරයේ උසම ස්ථානයක් වන සිංහගල හරහා පයින් ගමන් කිරීම නිසා මේ චාරිකාව අලුත් අද්දැකීමක් කියල කියන්න පුළුවන්.සිංහරාජ වනාන්තරය කියන්නේ අපේ සෙට් එකට අලුත් ,නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි.පහුගිය අවුරුදු දෙක තුල දෙවතාවකට වඩා වනයට පය තියල තිබුණු අපේ කීපදෙනෙක් මේ අවුරුද්දේ සිංහරාජය cross කරනවා කියල හිතාගෙන මේ ගමන සැලසුම් කරන්නට උනා.ගමන සම්පුර්ණයෙන්ම වගේ සංවිධානය කලේ අජිත්.
....අජිත් කලවාන විදුලිබල මණ්ඩලයට අයත් නවාතැන් පොලක් වෙන්කර තිබුනා....
පුබුදු සහ ශෂික  කලවාන ආසන්නයේ පිහිටි කුඩව පිවිසුමෙන් සිංහරාජයට පිවිස සිංහ ගලට ඇවිත් තිබුනා.මම,අජිත් සහ පුෂ්පේ දෙනියායෙන් සිංහ ගලට ඇවිත් තිබුනා.ඉතින් අපේ අදහස උනේ පාර දන්න අපේ කට්ටිය එක්ක කලවානෙන් ගමන ආරම්භ කරලා දෙනියායෙන් අවසන් කරන්න.මේ ගමනට රංජන එකතු උනේ සිංහරාජයට යන කෝඩු කාරයෙක් විදියට.
අපේ නවාතැන..
පලවෙනි දවසේ අපිට කුඩව පිවිසුමට ආසන්න ප්‍රදේශයක නවතින අවශ්‍යතාව තදින්ම තිබුනා.මොකද කියනවනම් සිංහරාජය හරහා යන ගමන ඒක දවසකින් අවසන් කරන්න අවශ්‍ය නිසා ඉතා උදෙන්ම පිවිසුම වෙත ගමන කල යුතු වූ නිසයි.ඒ සඳහා අජිත් කලවාන විදුලිබල මණ්ඩලයට අයත් නවාතැන් පොලක් වෙන්කර තිබුනා.
දිය බුං ...
අපේ ගමන ආරම්භ කරමින් 15 වැනි දින හවස 4 වන විට සියලු දෙනා මීපෙගම (නිකගොඩ හන්දියට) එකතුවුනා.එය කලවනත් බදුරලියත් අතර ප්‍රදේශයක්.එතන සිට අපේ නවාතැනට 1 km පමණ තිබුනා.කට්ටිය දවසෙම මහන්සිය යන්නත් එක්ක කලින්ම නින්දට වැටුනේ ඊළඟ දවසේ කරන්න ඉන්න වැඩේ ගැන පොඩි කතාබහකුත් කරලා ඉවරවෙලා.
පිවිසුම ආසන්නයේදී..
නවාතැන්පලින් ලබා දුන් ආහාර පාර්සලය සමගින් අප ගමන ආරම්භ කරනකොට උදේ 5.00 විතර වෙලා.එතන ඉදන් කලවාන නගරයට පයින්ම ඇවිදගෙන ගියේ එම වෙලාවට නියමිතව තිබු බසය ප්‍රමාද වීම නිසයි.කලවාන නගරයෙන් කුඩවට පළමු බසය පිටත් වෙන්නේ 6.45 ට වුවත් එදින එය නොමැති වූයෙන් අපට කුඩවට යාමට සිදු වුයේ 7.20 බසයේය.කුඩව බස් නවත්වන ස්ථානය වෙත අප ලඟා වෙන විට උදේ  8.30 විතර වුනා.
හැමදාම හමුවෙන කෙනෙක්
Cruiser
එතන ඉඳල කුඩව පිවිසුම වෙත අපි ඉක්මනින් පියනැගුවා.පිවිසුමෙන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන වනයට පිවිසෙන විට උදේ 9.00 ට ආසන්න වෙලා තිබුනා.කුඩව පර්යේෂණ මධ්‍යස්ථානය තෙක් ගමන් කරන මාර්ගය පුළුල්ව තිබුනත් එතනින් ඔබ්බට අප වඩාත් කැමති වනගත මාර්ගයක් ලෙස තිබුනා.එම මාර්ගය දෙනියායෙන් සිංහගලට මාර්ගය තරම් දුෂ්කර නොවුනත් කුඩල්ලන්ගෙන් අඩුවක් නම් තිබුනේ නෑ.ඉතා ඉක්මන් ගමනින් සිංහගල වෙත යාමට අපට පුළුවන්කම ලැබුනේ ගමන් කල සියලු දෙනාම වගේ මෙවන් ගමන් වලට පුරුදු කාරයන් වූ නිසයි.දහවල් 12.30 වනවිට සිංහගල මුදුනේදී දහවල් ආහාරය ගන්න අපට හැකි උනා.
සිංහගල මුදුනේදී...
හවස 1.30 පමණ වෙනකොට සිංහගල මුදුනින් දෙනියාය දිහාවට බහින්න පටන් ගත්තා.මාස ගානකින් ඒ පැත්තේ කවුරුවත් ඇවිත් නැති බව පාර දැක්කම අපිට තේරුම ගියා.සමහර තැන් ගස් වැටිලා පාර අවිහිර වෙලා තිබුනා.එත් කොහොමින් කොහොම හරි පාර හොයාගෙන හවස 3.30 වෙනකොට කැලයෙන් එලියට එන්න අපිට පුළුවන් උනා.

එතන ඉදල අජිත්ලගේ ගෙදරට කි.මි.10 ක් විතර තියෙනවා.මෙච්චර දුර ඇවිදපු එකේ ඕක මොකක්ද කියල කකුලට පින් දිදී අජියලගේ ගෙදරට ගොඩ වෙද්දී කළුවරත් වැටිලා..මට මතක විදියට රෑ 7.30 විතර වෙලා..

ඉතින් ලොකු වැඩක් කළා කියල හිතේ පොඩි ආඩම්බර කමකුත් හංගගෙන, තවත් ගමනකුත් ප්ලෑන් කරලා ඊළඟ දවසේ කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියා.

අපේ සෙට් ඒක :අජිත්,පුෂ්පේ,ශෂික.පුබුදු,රංජන,අකිල(මම)
ගමන් මාර්ගය :මීපෙගම >කලවාන>කුඩව(වැද්දාගල හරහා)>සිංහගල>පිටදෙනිය>හෙට්ටිකන්ද>දෙනියාය
සම්පුර්ණ දුර :ආසන්න වශයෙන් කි.මි 36
කළුතර,රත්නපුර,ගාල්ල හා මාතර දිස්ත්‍රික් මායිම් හරහා ගමන් මාර්ගය වැටි තිබුණි.